චෙකොෆ් අපිට කියන අලුත්ම කතාව


     ඇන්ටන් චෙකොෆ් ගැන කවුද නොදන්නෙ.. ඔව් ඒ ඔබට මතක් වෙන නාට්‍යකරුවා, නවකතාකරුවා, කෙටි කතාකරුවා, රුසියාවෙන් බිහි උනු අග්‍රගණ්‍ය  ලේඛකයා. ඔහු තමාගේ තරුණ කාලෙදී අන්වර්ත නාමයකින් පුවත්පත් සදහා කෙටි කතා ලියනවා. "ඇන්ටෝෂා  චෙකොන්ටෙ " කියන නමින් ඔහු රචනා කළ කෙටි කතා ගොන්නක් නිව්‍ යෝර්ක් නගරයේ මහජන පුස්තකාලයෙ රුසියානු සඟරාවල තිබිලා මෑතකදි හමු උනේ පීටර් කන්ස්ටන්ටයින්ට. ඔහු ඒවා චෙකොෆ් ගෙ නමින්  "ද අන්ඩිස්කවර්ඩ්  චෙකොෆ්" කියලා මුද්‍රණය කළා...ඉතින් මේ සටහන චෙකොෆ් ලියපු එක් අපූරු කෙටි කතාවක් ගැන.

"ෆ්‍රොම් ද ඩයරි ඔෆ් අ යන්ග් ගර්ල් නොහොත් තරුණියකගේ දින පොත " නැමැති කෙටි කතාව හරි අපූරුවට තරුණ කාන්තාවකගේ සිතුම් පැතුම් විස්තර කරනවා. එහි අඩංගු වෙන්නෙ තමාගේ නිවස අසලින් දිනපතා ගමන් කරන තරුණ හාදයෙක් ගැන තරුණියකට ඇතිවෙන සිතුවිලි. ඇය හැමදාම තමන්ගේ නිවසේ ජනෙල් කවුළුවෙන් පිටත බලාගෙන මේ තරුණයාව නිරීක්ෂණය කරනවා. ඇය ඒවා අව්‍යාජව නිර්භයව තමංගෙ දිනපොතේ ලියනවා. කතාවේ ආඛ්‍යානය ගොඩ නැගිලා තියෙන්නෙ අදාල දිනයේදි ඇය දිනපොතේ ලියපු දේවල් අනුව.

ඒත් මේ කියන්න හදන්නෙ කෙටිකතාවෙ ව්‍යුහය හෝ චරිත ගොඩනැංවීම හෝ කතා සාරාංශය ගැන නෙමෙයි, සරලවම ඒකෙන් ගන්න පුලුවන් පණිවිඩය ගැන.
තරුණිය  , රූපයෙන් පමණක් අඳුනගන්න මේ තරුණ හාදයා ගැන පෙරැයීම් ගණනාවක්ම සිදු කරනවා. ඇය හිතනවා මේ තරුණ මිනිසා තමාගෙ නිවස අසළ නිතරම ගැවසෙන්නෙ තමා පිළිබඳ පෙම් සිතිවිල්ලක් පහළ වෙලා නිසා කියලා . ඇය හීන මවනවා, හාදු පා කරලා යවනවා. නමුත් සැබැවින්ම ඔහු පොලිස් ඔත්තුකාරයෙකු බවත්, එහෙම නිවස අසළ ගැවසෙමින් ඉඳලා තියෙන්නෙ මුදල් වංචාවකට හසු උන තමංගෙ සහෝදරයා අත් අඩංගුවට ගන්න බවත් දැන ගත්තම ඇය ඔහුට බනින්නේ මෘගයා කියලා.

ඉතින් මේ කතාවේ අපි අල්ල ගන්න ඕන කොතනින්ද..

ඔව්.. අපිත් ජීවිතේ හමුවෙන හුගක් මිනිස්සුන්ට රැවටෙනවා. පිට පෙනුම දිහා බලලා අපි හිතනවා ඒ හැමෝම මහත්වරු සහ වැදගත් නෝනලා කියලා. නමුත් ඇත්තටම බහුතරයක් දෙනා කරන්නේ රැවටීමක්. තමන්ගෙ අරමුණු ඉටු වෙනකන් පමණක් තමන් ලඟ රැදිලා ඉන්න පිරිසක් එක්ක අඩු හෝ වැඩි වශයෙන් ගනුදෙනු කරමින් ජීවත් වෙන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් පිටින් බලලා පෙරැයීම් කරලා අපේ හිත් රිද්දවගන්නවට වැඩිය , කිසිම කෙනෙක් ගැන හදිස්සි පූර්ව නිගමනවලට එලෙඹෙන්නෙ නැතිව ඉන්න එක හැම අතින්ම හොද දෙයක්. ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ අපි තවකෙනෙක්ව ආශ්‍රය කරන්න ඕන හොදට හොයලා බලලා එහෙම නැත්තන් කාලා බලලා කියන එක. අඩුම තරමේ පිටින් පේන විදිය බලලා  මිනිස්සු මනින්නෙ නැතුව ඉන්න එක හරි අපිට කරන්න පුලුවන්.

ඉතින් චෙකොෆ් රචනා කරපු මේ කෙටි කතාව මිනිසා පිළිබඳ අපූරූ විග්‍රහයක් සහ වක්‍ර සමාජාවබෝධයක් ලබා දෙනවා. පිටින් මිනිස්සු මනින්නත් බෑ.. ඒ වගේම මිනිස්සුන්ගෙ ඇතුලෙ තියන ආකල්ප මොන වගේද කියලා අපි දන්නෙත් නෑ....  ජීවත් වෙනවා කියලා කියන්නෙ අඩු වැඩි වශයෙන් අපි අනෙකාට පහසුව සැලසෙන විදියට ඉන්න එකට.  ඒ පහසුව කායික හෝ මානසික වෙන්න පුලුවං. එහෙම ඉන්නකොට හමුවෙන වෙස්මූණූ දා ගත්ත මිනිස්සුන්ගෙන් අපි ඈත් වෙලා නෙමෙයි , ප්‍රවේශම් වෙලයි  ඉන්න ඕන..



ගීත්මා මදනායක.

Comments

Popular posts from this blog

'සූකර අසපුව' : යුද්ධයේ ක්ෂතිමය අත්දැකීමක්