'සූකර අසපුව' : යුද්ධයේ ක්ෂතිමය අත්දැකීමක්



අතොල් ෆුගාර්ඩ් විසින් ලියන ලද the place with the pigs නාට්‍යයේ  සිංහල පරිවර්තනය ( ඩබ් . එස්. විජේසිංහ විසිනි) වූ සූකර අසපුව ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි ගේ අධ්‍යක්ෂණයකි. ලෝකයේ කුමන හෝ රටක සිදුවිය හැකි සිද්ධි දාමයක් වුවද පශ්චාත් යුධ සමයේ ලාංකීය දේශපාලනික ආර්ථික හා සමාජීය වටපිටාව සියුම් ලෙස විවරණය කර ගත හැකි තේමාවක් එහි වෙයි.

මෙය ශ්‍රී ලාංකික ජාතියේ කවරකු හෝ නොවිඳි අත්දැකීමක් නොවන බව, යුද්ධය විසින් මානසිකව ඇද දමන ලද පැවැත්ම ( පාවෙල්) මඟින් තව තවත් ප්‍රත්‍යක්ෂ වන කරුණකි

පාවෙල් රුසියානු හමුදාවෙන් පැන ගොස් සෑහෙන තරම් කාලයක් ඌරු කොටුවක සැඟවී සිටින හමුදා සෙබෙළෙකි. ඔහු හා ඔහුගේ බිරිඳ රස්කායා දිවිගෙවයි. මෙලෙස ගෙවෙන රහස්‍ය ජීවිතයේ කටුක නීරස බවද ගමට එන යුධ බලඇණියට භාරවීමෙන් මේ දිවියෙනුත් හෘද සාක්ෂිය හා පවතින ගැටුමෙනුත් නිදහස් වීමක් ඔහු බලාපොරොත්තු වෙයි. තමා වීරයකු ලෙස ජනතාව පිළිගැනීමට කතාවක් ගෙතුවද අවසානයේ ඔහු හමුදා බැරැක්කට භාර නොවෙයි. ඒ වෙනුවට ඔහුගේ බිරිඳ රස්කායා හමුදා බැරැක්කය වෙත යන්නේ පාවෙල් මළ රස්කායා වැන්දඹුව ලෙසිනි.
අවසානයේ ඔවුන්ගේ ජීවිතය ගෙවෙන්නේ ඌරු කොටුවෙහිමය.

නාට්‍යයේ ඌරු කොටුව භාවිතා වෙන්නේ අපූර්ව සංකේතාත්මක ව්‍යංගයක් ලෙසිනි. යුද්ධයකින් පසු පාවෙල් දිවි ගෙවන වටපිටාව පමණක් නොව පශ්චාත් යුධසමයක අමිහිරි අත්දැකීමක් සමාන වන්නේම ඌරු කොටුවක දිවි ගෙවීමකට මිස අන් කුමකටද . නාට්‍යයේ සිංහල පරිවර්තනය සූකර අසපුව නමෙහි පවා දනවන සූකර  සමඟ අසපුව වදන යෙදීම තුළින් මතු කෙරෙන උපහාසාත්මක බව යුද්ධයේ අමානුෂික බවෙහි සාධුකරණයට අතුල් පහරකි. පාවෙල් මානසික රෝගියකු බව හා මොහොතින් මොහොත එකී මානසික ව්‍යාධියට ඔහු ඇදවැටෙන බව නාට්‍ය දිග හැරෙනතර ප්‍රේක්ෂකයාට දැනවෙයි. එමෙන්ම ඔහු විසින් රඟ දක්වන්නේම අද්‍යතන මිනිසාගේ ඛේදවාචකය ම නොවේදැයි සිතෙයි. පාවෙල් කියනා ලෙසට ඔහුට මැරෙන්නට බැරිය. ඌරෙක් නම් මැරුණොත් මස් වල වටිනාකම හරි තිබෙයි. එහෙත් මිනිසාට මාංශමය වටිනාකමක් වත් තිබේදැයි ඔහු ප්‍රශ්න කරන්නේ එසේ වටිනාකම් ඇති ඌරන්ගේ ඌරු කොටුවක සිටය. එතැන් සිට ඔහු ඌරන් හා සටන් කරයි. ඌරන්ට පහර දෙයි. ඌරු කොටුවට එන සමනළයා ඌරන්ගේ ග්‍රහණයට හසුවනු දැක වඩ වඩාත් තැවෙයි. ඌව ඌරන්ගෙන් බේරා ගන්නට තැත් කරයි. සමනළයාට මේ තරම් නිදහසක් තිබියදී ඌ එන්නේද මේ ඌරු කොටුවේම ලැගීමටය. පාවෙල් සමනලයාගේ මෝඩකමට දොස් පවරයි.  අද්‍යතන  ලාංකීය සමාජයතුළ පවා අප දක්වන නිදහසට බිය ( වහල් බවට ඇති කැමැත්ත ) සංකේතීය සමනලයා විසින් අපට පෙන්වයි (නිදහස මැඩ ගොදුර වෙත ළංවීම). ඒ අර්ථයෙන් ගත් කල පාවෙල් නිරූපණය කරන්නේ මිනිසාට මිනිසාව පෙන්වීමේ ප්‍රතිබිම්බමය සාන්තුවර ස්වරූපයයි.

නාට්‍ය මුල් අර්ධයේදී රස්කායා හමුදා බැරැක්කයට මුහුණදීමට යාම ප්‍රතික්ෂේප කරන්නේ තමා කිසිම විටක පිටත ලෝකය හා ගනුදෙනු කර නැති බවට හේතු දක්වමිනි. ඌරෙක්ව රැගෙන මස් වෙළෙන්දා හමුවට යාම පමණකි ඇය විසින් මේ අවුරුදු ගණනාවටම කර ඇත්තේ. යුද්ධය කෙතරම් නම් මිනිස් ජීවිත ඒකාකාරීත්වයකට හුරුකර තිබේදැයි යන්න විධි කිහිපයකින්ම කියවාගත හැකිය. රස්කායා ඌරු කොටුව තුළ ජීවත් වුවද ඇගේ ඒ ඒකාකාරීත්වය ඈට ආරක්ෂිත හැඟීමක් ඇති කරයි. ඊටත් වඩා වසර ගණනක් යුද්ධය හා ජීවත් වූ පාවෙල්ට එහි බිහිසුණු බව ප්‍රචණ්ඩත්වය කෙරෙහිම තමා යළි මෙහෙයවෙන තුරු මානසික සැනසීමක් ද නොවෙයි. ඌරු කොටුවක් තුළ තමාගේ වටිනාකම් යළි නංවා ගැනීමට තමාද ඌරන්ගේ කුලයටම අයත් විය යුතු බව පාවෙල් සිතන්නේ එබැවිනි.

 යුද්ධයත් , පශ්චාත් යුධසමයේ යුද්ධයෙන් ලද ක්ෂතිමය අත්දැකීම් හා තව තවත් යුද්ධය විසින් ඇතිකරන ලද විශාල රික්තයන් සමූහක් මැද මනුෂ්‍ය අභ්‍යන්තරය , මනුෂ්‍ය පැවැත්ම තව දුරටත් අර්බුදයට යාමේ ඛේදවාචකය පෙන්වන්නකි සූකර අසපුව. යුද්ධයෙන් බලපෑම් ලද මහා සාධකය සමාජය ලෙස නොව පුද්ගලත්වය ලෙස ගත් කල මහා සමාජය වන කුණු වූ ඌරු කොටුව එහි පසුබිමේ චිත්‍රණය වී තිබෙයි.

© මලිඳු කාවින්ද කුමාරසිංහ

Comments

Popular posts from this blog