තෙරණී
( ඉතා දුර අරණකදී තෙරුණි තෙරණී වූවාය)
අල්ලා දෙකොනින්
ගස්සා දෙපසට
ලෝභ දොස් කුණු රොඩු
හඳින්නී වත
පැන් පහසු වනු පිණිස
අතරමඟ මඟ දෙපස
වනස්පති යැයි නම් ලද
තුරු සිරස ඉඳහිටක
මඟ හරින්නී ය මඟ
මද කිපුණ මඳ සුළඟ
සොයන විට තුනු සපුව
රන් රෝස පා පතුල්
තාම තුත්තිරි සමඟ
මනමාල කම් කුමට
කිති කිතිය වුව දැනෙන
භාවනාවකි ඇයට
පොත් අතර පත් තබා
බෝ පතක අග කපා
ආදරේ යැයි කීව
අතීතය ගිහිගෙයට
දිරා ගිය බෝ පතක
සිහිල කුමටද හිතට
මලවි හිරු හී රැසට
මුවා වී බැස දියට
දොවන්නී දොවන්නී
වත මඬල
පුරුදු මින් රැස ඇවිත්
පුරුදු උණුහුම සොයයි
පුරුදු තැන් වල සරයි
නුහුරු ගතියක් දැනෙයි
මෑත් වූ තුරු සිරස එතෙන්නී
මලවි හිරු මඟට ඉඩ මකන්නී
මද කිපුණ මඳ සුළඟ දරන්නී
මඟ කියන දම් දියට බසින්නී
©මලිඳු කාවින්ද කුමාරසිංහ
Comments
Post a Comment